උණුසුම් පුවත්දේශීය

ඇඹරුම්ගලක් ලෙස භාවිත කළ සෙල්ලිපිය

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුව ඇති බව අනාවරණය විය.

විජිතපුර බළකොටුවට අයත් බවට පැවසෙන ප්‍රදේශයක මෙම ඉදිකිරීම සිදුකර තිබුණේ අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරයකින් තොරවය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (12) සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා, තාප්පය ඉදිකිරීමේදී කටයුතු කළ බැකෝ රථ රියදුරු ඇතුළු සහාය දැක්වූ පිරිසක් වන බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම තාප්පය ඉදිකළ පල්ලියට යාබද නිවසක තිබී ඇඹරුම්ගලක් සොයාගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැකකෙරන බව පොලීසිය පවසයි.

එම නිවසේ හිමිකරුද අත්අඩංගුවට පත් පිරිස අතර වේ.

එම සැකකරුවන් හෙට (13) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.