උණුසුම් පුවත්දේශීය

උත්සව සමයේ නිරෝධායන නීති ගැන දැඩි අවදානයෙන්

Ajith Rohana

එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙවර උත්සව සමය වෙනත් කාලවල මෙන් සැමරීමට සොබාදහම අවස්ථාවක් දී නොමැති බවය.

ඒ නිසා මෙවර උත්සව සැමරීම සැමවිටම පවුලේ අයට පමණක් සීමා කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

"තවත් සති දෙකකින් උත්සව සමය උදා වෙනවා. මෙවර උත්සව සමය වෙනත් කාලවල මෙන් සැමරීමට සොබාදහම අපිට ඉඩදී නෑ. ඒ නිසා මෙවර උත්සව සැමරීම සැමවිටම පවුලේ අයට විතරක් සීමා කරන්න. විශේෂයෙන් මේ දිනවල පොලිසිය සිවිල් ඇඳුමෙන් පොදු ප්‍රවාහන සේවාවල නිරීක්ෂණයට යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජනතාව නිරෝධායන නීතිවලට අනුව කටයුතු කරන්නේදැයි එම නිලධාරීන් සොයාබලනු ඇති. එසේ නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. ඒ වගේම මෙම නිලධාරීන් බීමත්ව රිය පැදවීම්, අපරික්ෂාකාරී රිය පැදවීම් සහ වේගයෙන් රිය පැදවීම් ආදිය ගැනත් සොයා බලනු ඇති," නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.