උණුසුම් පුවත්දේශීය

කොවිඩ් හෙළ ඔසුව – ආසාදිතයින්ට ලබාදීමට ක්‍රමවේදයක් සෙවීමට මහාචාර්ය කමිටුවක්

Covid Hela Osuwa

කොවිඩ් මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීයව නිෂ්පාදනය කළ ඖෂධයට කොව්ඩ් ආසාදිතයින්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වෛද්‍ය ‍ක්ෂේත්‍රෙය් මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කර තිබේ.

එම දේශීයව නිශ්පාදනය කළ ඖෂධය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (02) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී ඇත.

ඉන් අනතුරුව මෙම දේශීය ඔෂෟධය පිළිබඳව ඉදිරි පර්යේෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකරන ලෙස ජනාධපතිවරයා ඊයේ (01) කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව අද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට විෂයභාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, ප්‍රථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොව්ඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, නිපුණතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියේය.

එමෙන්ම මෙම ඖෂධය පිළිබඳව මූලික පර්යේෂණය දෙක සිදුකළ වතුපිටිවල රෝහලේ වෛද්‍ය කණ්ඩායම සහ එම ඖෂධය නිශ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාද එම සාකච්ඡාවට සහභාගී විය.

එහිදී මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලෝකයටම ලබා දීමට නම් විද්‍යානූකූල ක්‍රමවේදයන්ට අනුව පර්යේෂණ කිරීම සඳහා යෝජනා මාලාවක් සකස්කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඒ අනුව යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාලවල වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

එම කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

මහාචාර්ය සේනක පිලපිටිය - සභාපති
විශේෂඳ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  - සාමාජික
මහාචාර්ය සිසිර සිරිවර්ධන  - සාමාජික
මහාචාර්ය සරෝජ ජයසිංහ  - සාමාජික
මහාචාර්ය ලේකම්වසම්  - සාමාජික
මහාචාර්ය ජනක ද සිල්වා  - සාමාජික
මහාචාර්ය සෑම් කුලරත්න  - සාමාජික
මහාචාර්ය කමනි වනිගසූරිය මහත්මිය  - සාමාජික

සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් දේශීයව කොවිඩ් ඖෂධය පානය කරනු ලැබීය.

අද පැවති මාධ්‍ය හමුවක දී වසංගතරෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

“මෙය පර්යේෂණයක් ලෙස අත්හදාබැලීම සඳහා තීරණය කළා. ඒ සඳහා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුත් ඇතුළත්ව විද්වත් කමිටුවක් සහයෝගය ලබාදීමටත් ඒ අනුව නිසි පරිදි පර්යේෂණ තත්ත්වයෙන් අත්හදාබලා ඒ පිළිබඳව තීරණයක් ගැනීමටත් එය කඩිනමින් කිරීමටත් තීරණය අරන් තියෙනවා. දේශීය ඖෂධ කොවිඩ් - 19 එරෙහිව භාවිත කරන්නේ කියන එක පිළිබඳව විශේෂ අවධානයක් තියෙනවා. ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ඒ වගේ දේවල් අත්හදා බලන විදිය ගැන නියාමනයක් කරලා තියෙනවා. ඒ අනුව කරන එක සුදුසුයි.“