උණුසුම් පුවත්දේශීය

කොළඹ මහල් නිවාස කිහිපයක හුදකලාභාවය ඉවතට

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් එම නිවාස සංකීර්ණ අයත් පොලිස් බලප්‍රදේශවල හුදකලාභාවය තවදුරටත් පවතින බවය.

ඒ අනුව,

මට්ටක්කුලිය රන්දිය උයන
මෝදර මෙත්සඳ සෙවණ
මෝදර මිහිජය සෙවණ
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර
දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කෙරේ.

තවත් නිවාස සංකීර්ණ 7ක හුදකලාභාවය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරය,

“අපි 7 වෙනිදා කරනු ලැබුවා මෙත්සද සෙවණ 986ක්. ඒ සියල්ලම පරීක්ෂණයට ලක්කලා 86 දෙනෙක් ආසාදිතයින්  හමුවුණා. ඒ වගේම මට්ටක්කුලියේ රන්දිය උයන 1264ක මේ ආකාරයෙන් පරීක්ෂණ කරනු ලැබුවා. එයින් 40 දෙනෙක් කොවිඩ් ආසාදිත බවට වාර්තා වුණා. ඊට අමතරව මෝදර මිහිජය සෙවණ නිවාස 554ක පීසීආර් පරීක්ෂණ සිදුකළා. එයින් 78ක් ආසාදිත වුණා. ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන 870ක් නිවාස තිබෙනවා. ඒ සියල්ල පීසීආර් පරීක්ෂණ සිදුකළා. එහිදී 24 දෙනෙක් ආසාදිතයින් ලෙස වාර්තා වුණා. සමගිපුර නිවාස සංකීර්ණයේ 260ක් පීසීආර් කරලා දෙදෙනෙක් ආසාදිතයින් හමුවුණා. මිහිදුසෙත්පුර 840ක් නිවාස පරීක්ෂණයට භාජනය කරලා 34ක් ආසාදිතයින් ලෙස හමුවුණා. ආසාදිතයින් එම නිවාසවලින් ඉවත් කර ගනු ලැබුවා. ඒ අනුව මේ නිවාසවල කොවිඩ් ආසාදිතයින් නැති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් මේ මොහොතේ සිට මේ කියන නිවාස සංකීර්ණ හුදකලාභවයෙන් ඉවත් කරනු ලබනවා. ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවණ, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ 6 හුදකලාභාවයෙන් ඉවත් කරනවා. තව තියෙනවා නිවාස සංකීර්ණ 7ක්. ඒවා තවදුරටත් පරීක්ෂණයට භාජනය කරනවා. දැනට නිවාස සංකීර්ණ හුදකලා කළ ප්‍රමාණයනේ තුනෙන් දෙකක් හිටියේ මේ නිවාස සංකීර්ණ 6 තුළ.  තුනෙන් එකක වගේ කොටසක් ඉතුරු නිවාස සංකීර්ණ 7 තුළ තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පැය 48 හෝ 72 ඇතුළත හුදකලාභාවයෙන් ඉවත් කිරීමට.“