උණුසුම් පුවත්දේශීය

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට

පාසල් අධ්‍යයන කටයුතු

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පවසයි.

කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා සිට බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492 ක් වන අතර, ඉන් 412ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටලුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කොට ඇත.

ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පාසල් 76 න් 73 ක්, ශ්‍රී ජයවර්ධනපුර පාසල් 31 න් 29 ක්, කඩුවෙල පාසල් 49 න් 17ක්, පාදුක්ක පාසල් 26 න් 11 ක්, මහරගම පාසල් 32 න් 7ක්, රත්මලාන පාසල් 27 න් 24 ක්ද , කොලොන්නාව, හෝමාගම කැස්බෑව, දෙහිවල ,මොරටුව, සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහි සියලුම පාසල් ද ඒ අනුව පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට කමිටු නිර්දේශ ලැබී තිබේ.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව දිස්ත්‍රික් කමිටු සඳහන් කර තිබේ.