උණුසුම් පුවත්දේශීය

නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රය

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා ඇති අතර අද (15) මධ්‍යම රාත්‍රීයේ දී එය නිකුත්කිරීමට නියමිතය.

එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලයින් හට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත්, මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

ඊට අමතරව ව්‍යාපාරීක හා සේවා ස්ථානවලට ඇතුළුවීම හා සේවා ස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව මෙම ගැසට් පත්‍රය මගින් කරුණු කිහිපයක් පෙන්වා දෙයි.

ඒ අනුව,

සේවා ස්ථානවලට සහ ව්‍යාපාරීක ස්ථානවලට ඇතුළුවන සෑම තැනැත්තකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටීම.

දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගෙන යෑම.

සේවා ස්ථානයට ඇතුළුවීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමට පහසුකම් සැලැස්වීම.

ඇතුළුවන සෑම තැනැත්තකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම.

සේවා ස්ථානවල උපරීම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම ආදී කරුණු ඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණුවලට අදාළ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා ඇත.

Comment here