උණුසුම් පුවත්දේශීය

ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

lockdown

හුදකලා කර ඇති අටුලුගම ප්‍රදේශයෙන් පෙරේදා (23) රාත්‍රීයේ තවත් කොවිඩ් ආසාදිතයන් 74ක් හඳුනාගැණුනි.

එම ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරා මගින් පරීක්ෂා කිරීම ඊයේ (24) දින සිදුකෙරුණු අතර එහිදී පිරිසක් ක්‍රීඩාකරමින් සිටින අයුරු දැකගත හැකිවුණි.

ඊයේ පස්වරුවේ අටුලුගමදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ආසාදිතයන් 15 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

මේ අතර කොළඹ මහනගර සභා බලප්‍රදේශයට අයත් ඩි මෙල් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් 75 දෙනෙකුගේ අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සිදුකළේය.

එහිදී තහවුරු වී ඇත්තේ ඉන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවය.

එමෙන්ම වත්තල පල්ලිය පටුමගේ හුදකලා කර ඇති බාලහේන වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ පී සී ආර් පරීක්ෂණ අද දින සිදුකළේය.

සෞඛ්‍ය අංශ පැවසුවේ, එම ප්‍රදේශයෙන් පසුගිය දින කිහිපය පුරා ආසාදිතයන් 20 ට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවය.

මේ අතර අකුරණ ග්‍රාම සේවා වසම් දෙකකට සංචරණ සීමා පනවා තිබේ.

එලෙස සංචරණ සීමා පනවා ඇත්තේ ගුරුගෝතැන්න සහ තෙලඹුගහවත්ත යන ග්‍රාමසේවා වසම් දෙකටය.

එමෙන්ම මහනුවර මහයියාව ප්‍රදේශයේ කොටසකට ද සංචරණ සීමා පනවා තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් ඇබොස්පි වතුයායේ මොන්ටිෆෙයාර් කොටසේ තම නිවසට පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකුට අහඹුලෙස සිදුකළ පී සී ආර් පරීක්ෂණයක දී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ බවය.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ තවත් සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ, ඔහු බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පදිචිකරුවෙකු වන අතර නිරෝධායනය වෙමින් සිටි අයෙක් බවය.

මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් 35 දෙනකු අද දිනයේදී හඳුනාගැණුනි.

ඒ, සමග බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ථ ආසදිතයන් ගණන 717ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ, සමග ඔහුගේ පළමුපෙළ ආශ්‍රිතයන් වූ එම සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

බේරුවල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව විසි පස්දෙනෙකු පමණ සහභාගී වූ සාදයක් ද එහි පවත්වා ඇතැයි වාර්තා වේ.