උණුසුම් පුවත්දේශීය

පැය 80 මෙහෙයුමෙන් තෙල් නැවේ ගින්න නිවාදමයි

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවාදැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව ඊයේ (06) පස්වරුවේ සමත් වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි.

ඒ, නාවික හමුදාව සිසිලන කටයුතු සිදුකරන අතරතුර ගුවන් හමුදාව විසින් ගුවනින් විශේෂ රසායනික සංයෝගයක් ගින්න මතට හෙළීමේ ප්‍රතිඵලයක් ලෙසය.

ගිනිගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ස්ථානගතව පවතින්නේ නැගෙනහිර වෙරළේ සිට නාවික සැතපුම් 33 ක් එනම් කිලෝමීටර 61 ක් පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුදේය.

නාවික හමුදාවේ ටග් යාත්‍රා භාවිත කරමින් නැව පෙරේදා (05) පස්වරුවේ නාවික සැතපුම් 40 ක් එනම් කිලෝමීටර 74ක් දුරට රැගෙන ගියද අද දහවල් වනවිට එය පාවෙමින් නාවික සැතපුම් 33 ක් දක්වා ආසන්නයට පැමිණ තිබේ.

ගුවන් හමුදාව විසින් ගුවනින් ජලය ඉසිමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන අතරතුර මුහුදු ජලය භාවිතයෙන් සිසිලන ආවරණ ලබාදීමට නාවික හමුදාව කටයුතු කළේය.

පසුව රසායනික ද්‍රව්‍ය ගුවනින් ඉසීමෙන් පසු නෞකාවේ ගින්න සාර්ථකව පාලනය වී ඇති අයුරුයි දැක ගත හැකි විය.

මෙම නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතැන්ස්හි පිහිටි නිව් ශිපින් ලිමිටඩ් ආයතනය විසින් එහි ගැලවුම්කාර පාර්ශ්වය ලෙස ස්මිත් සිංගපෝර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පත් කර තිබේ.

ඒ අනුව, ස්මිත් සමාගම විසින් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවූ අතර එම විශේෂඥ කණ්ඩායම ඊයේ (06) උදෑසන 6.55 ට පමණ විශේෂ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියේය.

මෙම කණ්ඩායමට මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන්, නීති උපදේශකයෙක්, රක්ෂණ කටයුතු භාර නිලධාරීන් ඇතුළු 10 දෙනෙකු ඇතුළත් විය.

පී.සි.ආර් පරීක්ෂණවලින් අනතුරුව එම විශේෂඥ කණ්ඩායම නාවික හමුදා ආරක්ෂාව යටතේ කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමින් ආපදාවට ලක් වූ නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත අද පස්වරුවේ රැගෙන ගියේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරීවරයා ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද අද දහවල් මෙහෙයුම් කටයුතු සඳහා එක්විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදාවට ලක් වූ නෞකාවේ සිට මුදාගත් පුද්ගලයින් විසි දෙනා මේ වන විට සිඳුරළ නෞකාව තුළ ආරක්ෂිතව රඳවා සිටින අතර ඔවුන්ට දුරකථන මාර්ගයෙන් සිය ඥාතීන් සමග සම්බන්ධ වීමටද අවස්ථාව ලබාදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

මේ අතර, නිව් ඩයමන්ඩ් නෞකාව නිසා ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් දේශීයව ගතහැකි නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද නීතිපති දෙපාර්තමේන්තුවේදී පැවැත්විය.

මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක, ශ්‍රී ලංකා වෙළෙඳ නැව් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය හා අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව සිටියේය.