උණුසුම් පුවත්දේශීය

මහනුවර නගර සීමාව තුළ ඇති පාසල් 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘතවේ

පාසල් අධ්‍යයන කටයුතු

මහනුවර නගර සීමාව තුළ වසා දමා ඇති පාසල් 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

අද (11) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසා සිටියේ, පාසල් තුනක් හැර සෙසු පාසල් සියල්ල මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බවය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කලෙයිමගල් විද්‍යාලය හා තක්ෂිලා විද්‍යාලය සඳුදා දිනයේ දී ආරම්භ නොවන පාසල් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නිවාඩු කාලය තුළ අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව හඳුන්වාදීමට නියමිත බව ද ලලිත් යු ගමගේ කියාසිටියේය.

“සෞඛ්‍ය ක්‍රමවේද සියල්ල අනුගමනය කරමින් අපි මහනුවර නගර සීමාව තුළ වසා දමා පාසල් 45න් පාසල් 3ක් හැර සියලුම පාසල් ලබන සඳුදා සිට විවෘත කිරීමට අපේ කමිටුව තීරණය කළා. ඒ අනුව කලාප අධ්‍යක්ෂතුමා විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරයි. “

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සීමාව තුළ පිහිටා ඇති පාසල් පසුගිය දෙසැම්බර් මස 4 වන දින තාවකාලිකව වසා දැමුණි.