උණුසුම් පුවත්දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1723ක්

Covid-19

අද (15) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර 1,723 දක්වා ඉහළ ගිය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින්, පුද්ගලයින් පස් දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරෙන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයින් 682 එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බව ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මිනුවන්ගොඩ ආසාදිත පොකුර වාර්තා වු අයුරු,

පළමු සතිය තුළ ඔක්තෝබර් 5 සිට 11 දක්වා - 1186
ඔක්තෝබර් 12 වන දින - 121
ඔක්තෝබර් 13 වන දින - 90
ඔක්තෝබර් 14 වන දින - 194
ඔක්තෝබර් 15 වන දින - 132 උදෑසන 6 වන විට

මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 348,909කි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,170 දක්වා ඉහළ ගොස් ඇති අතර පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 3,357 ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රෝගීන් 1,800 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

මේ අතර අද අලුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Comment here