උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 23,987ක්

Covid-19

අද (01) උදෑසන වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 23,987ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (30) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 503 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.

ඉන් 496ක් දේශීයව, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 6 දෙනෙක් හා විදෙස්ගත මුහුදු ආරක්ෂක නිලධාරියෙකු වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ දිනයේ දීත් වැඩිම දෛනික ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින් 147ක් ලෙසය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 ක් හා මහනුවරින් ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබේ.

මේ වන විට රෝහල්ගත ආසාදිතයින් ගණන 6,309 කි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58ක පුද්ගලයින් 6,204ක් නිරෝධායනය වෙමින්  සිටී.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 12,031ක් සිදුකර ඇත.

ඊයේ දින තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වූ අතර ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.