උණුසුම් පුවත්දේශීය

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක්

අද (21) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (20) මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 06 දෙනෙක් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 2730ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් එක් අයෙකු රාජාංගනයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වේ.

සෙසු පස්දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයින් ගණන අද වනවිට 561ක් ලෙස වාර්තා වන බවය.

ඒ අතරින් 451 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවූවන් වන අතර 68 දෙනෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් වේ. 42 දෙනෙකු ආසාදිතයින්ව ළඟින් ඇසුරු කළ පුද්ගලයින්.

මේ අතර, මෙරටින් වාර්තා වූ විශාලතම කොවිඩ් 19 පොකුර වූ වැලිසර නාවික හමුදා කොවිඩ් පොකුරේ සියලු ආසාදිතයින් අද වනවිට සුවය ලබා සිටී.

නාවික හමුදාව සඳහන් කළේ , ආසාදිතව සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනාත් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවය.

කොවිඩ් 19 ආසාදනය වූ පළමු නාවික හමුදා සාමාජිකයා වාර්තා වුණේ ඉකුත් අප්‍රේල් 22 වැනිදා ය.

ඔහු වැලිසර නාවික කඳවුරට අනියුක්තව සේවය කළ පොළොන්නරුවේ පදිංචි ව සිටි නාවික සාමාජිකයෙක්.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සොයා නාවික හමුදා නිලධාරීන් සිදුකළ මෙහෙයුම්වල දී අදාළ හමුදා නිලධාරියාට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණ විය.

එතැන් සිට දින 90 ක කාලයක් තුළ පොකුරක් ලෙස වර්ධනය වූ නාවික හමුදා ආසාදිතයින් ගණන 906 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ආසාදිත නාවික පොකුරේ සියලු ආසාදිතයින් මේ වනවිට සුවය ලබා සිටී.

Comment here