උණුසුම් පුවත්දේශීයවිශේෂාංග

ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් සිදුකළ අභ්‍යවකාශ ගවේෂණයක් නාසා ආයතනයේ පිළිගැනීමට

ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් සිදුකළ අභ්‍යවකාශ ගවේෂණය හා සම්බන්ධ නව නිර්මාණයක් නාසා ආයතනය මගින් පිළිගෙන තිබේ.

එම නිර්මාණය වන්නේ, අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ කෙරෙන "ස්පේස් ඩොකිං සිස්ටම්" යනුවෙන් හඳුන්වන පද්ධතිය නව සැලසුමකට අනුව නිර්මාණය කිරීම ය.

අභ්‍යවකාශ ක්ෂේත‍්‍රයේ නව නිර්මාණ කෙරෙහි අවධානය යොමුකරන නාසා ආයතනය එක් එක් රටවල තරගාවලි සංවිධානය කර ලොව පුරා නව නිර්මාණකරුවන් සොයගනු ලබයි.

ඒ අනුව, ලංකාවේද පළමු වරට එවැනි තරගාවලියක් පසුගියදා සිදුකරනු ලැබුවේ, අභ්‍යවකාශ විෂයට ලාංකික සිසුන් තුළ ඇති උනන්දුව හේතුවෙනි.

නාසා ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කළ එම තරගාවලියට නව කණ්ඩායම් 58ක් ඉදිරිපත් වී ඇත.

NASA SPACE APPS COLOMBO යනුවෙන් සංවිධානය කරන ලද එම තරගාවලියට අභ්‍යාවකාශ ක්ෂේත්‍රයට අදාළ නව නිර්මාණ විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුණි.

"ස්පේස් ඩිසයිනර්ස්" නැමැති කණ්ඩායම එහි දී ජයග්‍රහණය හිමිකරගත්තේය.

ලොව පුරා විශ්ව විද්‍යාල කිහිපයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5දෙ‍නෙකු සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු එම කණ්ඩායමට ඇතුළත්ය.

මෙම ජයග්‍රාහී කණ්ඩායමට "NASA SPACE APPS" ජාත්‍යන්තර තරගාවලියට තරග කිරීමට සුදුසුකම් ලබාගෙන තිබේ.

"ස්පේස් ඩිසයිනර්ස්" කණ්ඩායමේ සාමාජික ගුවන් යානා ඉංජිනේරු සමීර අමරකෝන් සිසුවා සිය නිර්මාණය සම්බන්යෙන් අදහස් දැක්වමින් පැවසුවේ, අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ කෙරෙන ස්පේස් ඩොකිං සිස්ටම් යනුවෙන් හඳුන්වන පද්ධතිය මෙතෙක් පැවතියේ 1966 වසරේදී නිර්මාණය කළ සැලසුමකට අනුව බවය.

වසර ගණනක් පැරණි එම ක්‍රියාවලිය සිය කණ්ඩායම විසින් වඩාත් වැඩිදියුණු කර ආර්ථිකමය වශයෙන් ඵලදායි ලෙස යොදා ගතහැකිවන පරිදි නිර්මාණය කළ බවද ඔහු පැවසීය.

සිය නව නිර්මාණය ගගනගාමීයාට ද වඩාත් පහසුවන බවද ඔහු පෙන්වා දුන්නේය.